කොනප්පු බණ්ඩාරගේ වික්‍රමය - පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) 丨The Conquest of Konappu Bandara - 1st Wimaladharmasuriya

Owned by prasannaweerakkody.com
වර්ෂ 1521දී පමණ ශ්‍රී ලංකාව රජවරුන් කිහිපදෙනකුගේම පාලනය යටතේ පැවතියේය. ඔවුන් සහ ඔවුන් පාලනය කල ප්‍රදේශ වනුයේ, මායාදුන්නේ රජු විසින් සීතාවක ප්‍රදේශය,රයිගම් බණ්ඩාර විසින් රයිගම ප්‍රදේශය,ජයවීර බණ්ඩාර විසින් උඩරට ප්‍රදේශය ද, බුවනෙකභාහු කෝට්ටේ ප්‍රදේශයද පාලනය ගෙන ගියහ.බුවනෙකභාහු ,මායාදුන්නේ හා රයිගම බණ්ඩාර යනු පස්වන විජයබාහු රජුගෙ පුතුන් තිදෙනා වේ. ජයවීර බණ්ඩාර ,මායාදුන්නේගේ මිතුරෙකු වූ අතර බලය පැතිරවීම සදහා ඔහු මායාදුන්නේ හට සහය දුන්නේය. එවකට දක්ෂ රණශූරයෙකු වූ මායාදුන්නේ අනෙකුත් ප්‍රදේශ යටත් කරගැනීමේ උත්සහයක නිරතවූයේය. මායාදුන්නේගේ පුතා වූ ටිකිරි බණ්ඩාර ද තම පියා මෙන් දක්ෂ රණශූරයෙකු විය. එමෙන්ම ඔහු අහංකාර පුද්ගලයෙකි. රාජ්‍ය බලය ලබාගැනීමට පැමිණි පෘතුගීසින් කිහිප අවස්ථාවකදීම දරුණු ලෙස පරාජය කල හෙතෙම තම පියා වූ මායාදුන්නේ හට බලය පැතිරවීම සදහා සහය වූයේය.

බුවනෙකභාහු රජු තමාට පසුව තම මුනුබුරු වූ ධර්මපාල රජුට බලය ලබාදීමේ බලාපොරොත්තු ඇතිව පෘතුගීසින්ගෙන් ආධාර ලබාගන්නා ලදී. මේ පිලිබඳ කෝපයට පත්වූ මායාදුන්නේ ,රයිගම් බණ්ඩාරගේද උදව් සහිතව බුවනෙකභාහුට විරුද්ධව සේනා සංවිධානය කලහ. මේ පිලිබඳ දැනගත් බුවනෙකභාහු පෘතුගීසින්ගෙන්ද උපකාර ඇතිව කිහිප වරක් සීතාවක ආක්‍රමණය කලේය. මෙම සටන් වලින් පරාජයට පත්වූ මායාදුන්නේ හට කලක් සැගවී සිටින්නට පවා සිදුවිය. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පෘතුගීසින්, රහසේම බුවනෙකභාහු රජු මරණයට පත්කොට ඔවුන් යටතේ සිටි ධර්මපාල කුමරු රජකමට පත්කර පෘතුගීසින්ට යටතේ පවත්වාගත්හ.

මෙම සිදුවීමෙන් පසු නැවත වරක් ශක්තිමත්ව සේනා සංවිධානය කල මායාදුන්නේ තම පුතු වූ ටිකිරි බණ්ඩාරද සමග සීතාවක ආක්‍රමණය කර එම ප්‍රදේශයේ සිටි පෘතුගීසින් පලවා හැරියේය.මෙයින් තැතිගත් ධර්මපාල රජු, පෘතුගීසින්ගෙන්ද සමග සේනා සන්නද්ධ කර මායාදුන්නේ සමග සටනට සැරසුනි. මායාදුන්නේද සේනා සන්නද්ධ කර තම පුත් ටිකිරි බණ්ඩාර, සේනානායක තනතුරට පත්කොට සටනට පිටත් කරවීය. මුල්ලේරියා වෙල නම් ස්ථානයක දෙපිරිස මුහුණට මුහුණලා හමුවිය.එම ස්ථානයේම පුරා දිනයක් තිස්සේ සටන පැවැත්වූ අතර මෙයින් පෘතුගීසින් අන්ත පරාජයක් ලැබූහ.පසුව මායාදුන්නේ කෝට්ටේ ප්‍රදේශය අල්ලා ගැනීමට සටනට පැමිණියේය. මෙහිදී සීතාවක සේනාවට මුහුණදීමට නොහැකි වූ ධර්මපාල රජු කොළඹ කොටුව වෙත පලා ගියේය.


මුල්ලේරියා සටනින් පසු මුල්ලේරියා වෙල -  Image owned by prasannaweerakkody.com

මෙම බල පෙරලියෙන් පසුව ශ්‍රී ලංකාව තුල බලය පැතිරවූ ප්‍රධාන රාජ්‍යන් දෙකක් පැවතියේය. එනම් සීතාවක රාජධානිය හා උඩරට රාජධානියයි. මායාදුන්නේ සීතාවක පාලනය කල අතර ඔහුගේ මිතුරෙකු වූ ජයවීර බණ්ඩාර උඩරට පාලනය කලේය.මෙකල බල තන්හාවෙන් පෙලුනු මායාදුන්නේගේ පුත් ටිකිරි බණ්ඩාර තම පියා මරා පළමු රාජසිංහ නමින් සීතාවක රජකම ලබාගන්නා ලදී. ඔහු සීතාවක ප්‍රදේශය තුල දරුණු පාලනයක් දියත් කලේය. පසුකලෙක උඩරට ජයවීර බණ්ඩාර රජුගේ මරණයෙන් පසුව ඔහුගේ පුත් කරලියද්ද බණ්ඩාර උඩරට රජකමට පත්විය.

කරලියද්ද බණ්ඩාර පෘතුගීසින් සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කල අතර එය පෘතුගීසින්ට නැවත රාජ්‍ය බලය ලබාගැනීමට පිටුවහලක් විය. කරලියද්ද බණ්ඩාරගේ මෙම ක්‍රියාකලාපයට විරුද්ධ වූ උඩරට රදළ ප්‍රධානීන් ඔහු කෙරෙහි දැඩි අමනාපයෙන් පසුවිය.  සිංහල ජාතියත, බෞද්ධ ශාසනයත්, විනාශ කිරීමට සූදානම්වන මෙම කරලියද්ද බණ්ඩාරට විරුද්ධ වන්නන් අතර ඉහළින්ම සිටියේ පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර නම් ප්‍රභූවරයෙකි. උඩරට කරලියද්ද බණ්ඩාර රජුගේ යටත් අමාත්‍යවරයෙකු වූ ඔහු, තම රට ,ජාතිය උදෙසා රජුට විරුද්ධව නැගී සිටින්නට ප්‍රමුඛත්වය ගත්තේය. ඔහුට කොනප්පු බණ්ඩාර නැමැති පුතෙකු විය. දක්ෂ රණශූරයෙකු මෙන්ම බුද්ධිමත් තරුණයෙකු වූ ඔහුද තම රට, ජාතිය කෙරෙහි ඉමහත් ජාත්‍යාලයෙන් යුතුව තම පියා හට සහය ලබාදුන්නේය. ඒ අනුව පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර ප්‍රමුඛ උඩරට රදළ ප්‍රදානීන්, කරලියද්ද බණ්ඩාරව රජකමින් පලවාහැරීමට සීතාවක රාජසිංහ රජුට සහය පලකළහ.මෙමගින් රාජසිංහ රජුට මුළු ශ්‍රී ලංකාවේම බලය ලබාගැනීමට අවස්ථාවක් උදාවිය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් රාජසිංහ රජු, උඩරට රදළ ප්‍රදානීන්ගේද සහය ඇතිව උඩරට ආක්‍රමණයට සේනා සන්නද්ධ විය. මේ සදහා කොනප්පු බණ්ඩාර විශාල සේවයක් ඉටුකරන ලදී. පසුව මෙම ආක්‍රමණයට මුහුණදීමට නොහැකිව කරලියද්ද බණ්ඩාර තම දරුවන් වූ කුසුමාසන දේවිය හා යමසිංහ බණ්ඩාර සමග පෘතුගීසින් වෙත පලාගියේය. 

ඉන්පසු සීතාවක සිට උඩරට පාලනය කල රාජසිංහ රජුට මේ වනවිට මුළු ශ්‍රී ලංකාවේම පාහේ බලය ලැබී තිබුනි.පසුව කොනප්පු බණ්ඩාර තම පියාද සමග පෘතුගීසින් පලවාහැරීමට සීතාවක රාජසිංහ රජුට සහය දක්වන ලදී. කල්යත්ම රාජසිංහ රජු ඒකාධිපති නායකත්වයක් පතුරුවන ලද අතර,ඇතැම් රදළ ප්‍රදානීන් සමගද මත ගැටුම් ඇතිකරගන්නා ලදී. රාජසිංහ රජුගේ මෙම දරුණු ප්‍රතිපත්ති පිළිබඳ ජනතාවද අප්‍රසාදයෙන් පසුවූහ. රජුගේ මෙම අසනදායී ප්‍රතිපත්තිවලින් ජනතාව මුදවාගැනීමට උඩරට අල්ලා ගැනීමට රජුට උපකාර කල වීරසුන්දර බණ්ඩාර මෙන්ම ඔහුගේ පුත් කොනප්පු බණ්ඩාරද සැලසුම් සකස් කරන්නට විය. වීරසුන්දර බණ්ඩාරගේ මෙම ක්‍රියාකලාපය පිලිබඳ සැකසිතූ රාජසිංහ රජු රහසේම ඔහුව මරණයට පත්කිරීමට කටයුතු කලේය. මේ බව දැනගත් වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර ,රාජසිංහ රජු පිලිබඳ ඉමහත් කෝපයෙන් පසුවිය. තම ආරක්ෂාව සදහා තාවකාලිකව පෘතුගීසින් වෙත පලායාමට කොනප්පු බණ්ඩාර තීරණය කලේය. නමුත් ඔහුගේ අරමුණ වූයේ රාජසිංහ රජුව මරණයට පත් කිරීමයි. 

මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පෘතුගීසින් තම භාරයේ සිටි කරලියද්ද බණ්ඩාරගේ පුතෙකු වූ යමසිංහ බණ්ඩාර නැමැත්තා දැඩි ආරක්ෂාවක් සහිතව උඩරටට යවා, රාජසිංහ රජු කෙරෙහි අප්‍රසාදයෙන් පසුවූ උඩරට ප්‍රධානීන්ගේද උපකාර ඇතිව, බලයට පත්කරන ලදී. මෙහිදී යමසිංහ බණ්ඩාරගේ ආරක්ෂාවට යැවූ පෘතුගීසි සේනාව සමග තමා යටතේ සිටි කොනප්පු බණ්ඩාරද පිටත් කර යවන ලදී. පෘතුගීසිනගේ සැලසුම වූයේ යමසිංහ බණ්ඩාර ලවා උඩරට පාලනය කරලීමයි. මේ සදහා ඉඩ නොදුන් කොනප්පු බණ්ඩාර පෘතුගීසින් වෙතින් පලාගොස් උඩරට ජනතාවගේද සහය ඇතිව ක්‍රි.ව 1592 පළමුවන විමලධර්මසූරිය නමින් රජකම ලබාගත්තේය. නමුත් ඔහුට නීත්‍යානුකූලව රාජ්‍ය උරුමයක් නොවූ අතර කෙසේ හෝ රාජ්‍ය උරුමය හිමි කරලියද්ද බණ්ඩාරගේ දියණිය වූ කුසුමාසන දේවිය විවාහ කරගැනීම ඔහුගේ සැලසුම විය.ඉන්පසු විමලධර්මසූරිය රජු, තම පියා ඝාතනය කල රාජසිංහ රජුව පලවාහැරීමට ඔහු සමග සටනක් සිදුකලේය. එවකට දක්ෂ රණශූරයෙකු වූ රාජසිංහ රජුගේ සේනාවට විමලධර්මසූරිය රජුගේ ශක්තිමත් යුධ සේනාවට මුහුණදීමට නොහැකි විය. මෙලෙස සටනින් පරාජය ලැබූ රාජසිංහ රජු ආපසු සීතාවකට පැමිණෙන විට පෙතංගොඩ නම් උයනේදී උණ කටුවක් ඇනී ඇතිවූ තුවාලයකින් මරණයට පත්විය. 

පෘතුගීසින් යටතේ කලක් ගත කොට ඔවුන්ගේ යුද්ධ ශිල්පය හා වෙනත් උපායමාර්ග ගැන හොඳ අවබෝධයක් ලබා සිටි කොනප්පු බණ්ඩාර, විමලධර්මසූරිය නමින් උඩරට රජවීම ගැන පෘතුගීසින් සින් කිසි සේත්ම සතුටු වූයේ නැත. මේ නිසා පෘතුගීසින්ගේ රැකවරණය ලබා සිටි කරලියද්දෙ බණ්ඩාරගේ දියණිය වූ කුසුමාසන දේවිය (දෝන කතිරිනා) උඩරටට කැදවාගෙන ගොස් ඇය බලයට පත්කොට තමන්ට ගැති පාලනයක් පිහිටුවීමට පෘතුගීසින් උත්සහ කළහ.වර්ෂ 1594 දී පෘතුගීසි කපිතාන් ජනරාල් පේරෝ ලෝපේස් ද සූසා යටතේ දියත් කළ ආක්‍රමණයේදී කුසුමාසන දේවිය උඩරට රැජින වශයෙන් පත්කරන ලදී. එහෙත් විදේශිකයන් බලයට පත්කළ තැනැත්තියක් රැජින වශයෙන් පිළිගැනීමට අකමැති වූ උඩරට ජනතාව පළමුවන විමලධර්මසූරිය රජුට සහය දුන්හ. පේරෝ ලෝපේස් ද සූසාට තම හමුදාවත් සමග පසුබැසීමට සිදුවිය. 

දන්තුරේ සටන


වර්ෂ 1594 ඔක්තෝම්බර් මාසයේදී දන්තුරේ වෙළේදී  පෘතුගීසි හමුදාව හා විමලධර්මසූරිය රජු විසින් මෙහෙයවන ලද උඩරැටියන් අතර මහත් ගැටුමක් ඇතිවිය. මෙම සටනින් පෘතුගීසි හමුදාවම විනාශයට පත්වූ අතර ආක්‍රමණය මෙහෙයවූ පේරෝ ලෝපේස් ද සූසා පවා මරණයට පත්විය. එහිදී කුසුමාසන දේවිය උඩරැටියන්ගේ අත්අඩංගුවට පත්වූ අතර විමලධර්මසූරිය රජු විසින් ඇය විවහා කරගෙන තම නීත්‍යානුකූල රාජ්‍ය උරුමය තහවුරු කරගන්නා ලදී. මේ විවාහය නිසා උඩරට නව රාජවංශයක් බිහිවිය. උඩරට රාජධානිය තුළ තමන්ට ගැති පාලනයක් පිහිටුවීමට පෘතුගීසින් දැරූ උත්සහය අසාර්ථක වූයේ ඔවුන්ට අන්ත පරාජයක් අත්කර දෙමිනි. විමලධර්මසූරිය රජුගේ යුද්ධ උපායශීලිත්වයත්, උඩරැටියන්ගේ සහය රජුට ලැබීමත්, පෘතුගීසින්ගේ සහයට පහතරටින් ගිය හමුදාව උඩරටදී රජුට එකතුවීමත්, විමලධර්මසූරිය රජුගේ ජයග්‍රහණයට හේතු විය.

බලන සටන


පේරෝ ලෝපේස් ද සූසා මරණයට පත්වීමෙන් පසුව පෘතුගීසින් විසින් දොන් ජොරනිමෝද අසවේදු මෙරට කපිතාන් ජනරාල් වශයෙන් පත්කර එවන ලදී. දන්තුරේ දී පෘතුගීසින් පරාජය වීමත් සමග එදිරිල්ලේ රාළ නැමැති සෙම්පතියෙකු යටතේ පහතරට ප්‍රදේශ වල පෘතුගීසි විරෝධී කැරැල්ලක් ඇතිවිය. මේ කැරැල්ලට විමලධර්මසූරිය රජතුමාගේ සහය ලැබුණි. මේ නිසා පෘතුගීසිහු කැරලි නායකයන් මරණයට පත්කරමින්, ගම් බිම් ගිනි තබමින් දැඩි මර්දනකාරී ක්‍රියා මගින් කැරලිකරුවන්ට පහර දී ඔවුන්ව පරාජය කළහ. අනතුරුව අසවිදු උඩරට සමග යුද්ධයකට සැරසුණි. වර්ෂ 1602 දී ගෝවෙන් ආණ්ඩුකාරවරයාගේ යුධ ආධාර ඇතිව සේනා සංවිධානය කර උඩරට ආක්‍රමණයට සූදානම් වූහ.මෙහිදී උපායශීලි යුධ ප්‍රතිපත්තියක් අනුගමනය කල විමලධර්මසූරිය රජු, පෘතුගීසි සේනාව වටකර පහරදීමට සැලසුම් සැකසීය. පසුව පෘතුගීසි සේනාව යුධ්ධය සදහා කන්දක් පසුකර ගොස් 'බලන' නම් ස්ථානයට පැමිණියහ. හදිසියේම හක් පිඹීමක්ද, හේවිසි හඩක් ද සතර දිශාවෙන්ම ඇසෙන්නට විය. ඒ සමගම ඊතල වර්ෂාවක් පෘතුගීසින් මතට වැටෙන්නට විය. මෙහිදී පෘතුගීසින්ට ගැලවීමට කිසිම මගක් නොතිබුනි. මුළු පෘතුගීසි සේනාවම විමලධර්මසූරිය රජුගේ සිංහල සේනාව විසින් මරා දමන ලදී.

මෙම යුද්ධයෙන් පසු විමලධර්මසූරිය රජු මුළු රටටම අධිපති වූයේය. මෙහිදී පෘතුගීසින් වෙනුවෙන් සටනට ගොස් සිටි පහතරට ජනතාවද විමලධර්මසූරිය රජුගේ පක්ෂයට එකතු වූහ. උඩරැටියන්ගේ ප්‍රහාර නිසා පෘතුගීසින් සැලකිය යුතු පිරිසක් මරණයට පත්කළ අතර ඔවුන්ගේ අවිආයුධ උඩරැටියන්ගේ අතට පත්විය. මෙම පරාජයත් සමග අසවේදු මල්වාන හරහා කොළඹට පසු බැස්සේය. අසවේදුගේ ආක්‍රමණය අසාර්ථක වීමෙන් පසුව නැවත උඩරට ආක්‍රමණයට ක්‍රියා නොකිරීමට තීරණය කළ අතර වරින් වර ගම් බිම් වලට පහරදීමේ ක්‍රියාකලාපයක් දියත් කළේය.

කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවති බල අරගලයන් හා පාලනයේ ව්‍යාකූලත්වය අවසන් කල මෙතුමා තම රාජධානිය වශයෙන් උඩරට රාජධානිය තෝරාගන්නා ලදී. පසුව ජනතා හිතෛෂී ප්‍රතිපත්තියක් අනුගමනය කල විමලධර්මසූරිය රජු බුද්ධ ශාසනයත්, සමස්ත ශ්‍රී ලංකාවේත් උන්නතිය උදෙසා කටයුතු කලේය.තවදුරටත් පෘතුගීසින් පන්නා දැමීමට කටයුතු කල විමලධර්මසූරිය රජු උඩරට රාජධානියේ මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවේම සංවර්ධනය උදෙසා ක්‍රියාකළේය. එමෙන්ම සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසාද විශාල සේවයක් ඉටුකල විමලධර්මසූරිය රජු වර්ෂ 1604 දී අභාවයට පත්විය.

0 Comments