Owned by prasannaweerakkody.com |
පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසුව කාලිංග වංශිකයෙකු වූ නිශ්ශංකමල්ල රජු බලයට පත්වූ අතර, ඔහුගේ පාලන සමය තුල කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර බල අරගලයන් උත්සන්න විය. එහි ප්‍රතිඵලයක් ලෙස නිශ්ශංකමල්ලගේ මරණයෙන් පසුව එතුමාගේ බෑණා වූ චෝඞංග, සහෝදරයා වූ සහාසමල්ල හා බිරිඳ වූ කල්‍යාණවතී වැනි අය වරින් වර බලයට පත්ව ඇත. මේ අතර පාණ්ඩ්‍ය වංශිකයන් පළමුවන පරාක්‍රමබාහු රජුගේ බිරිඳ වූ ලීලාවතී බිසව තුන් වරක් බලයට පත්කර ඇත.මෙලෙස කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර පැවති බල අරගල නිසා වරින් වර දුර්වල පාලකයින් බලයට පත්වූ අතර,මේ නිසා ශ්‍රී ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය මෙන්ම ආර්ථිකයද පරිහානියට පත්විය.
වර්ෂ 1215 පමණ ශ්‍රී ලංකාවේ අදුරු යුගය ආරම්භ විය. කාලිංග මාඝ නැමැති ආක්‍රමණිකයා ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පටන්ගත්තේ මෙම යුගයේදීය. එවකට ශ්‍රී ලංකාවේ පැවති අස්ථාවර දේශපාලන වාතාවරණය නිසා, මාඝගේ ආක්‍රමණය පහසු විය. ඔහු ඉතාමත් දරුණු ආක්‍රමණිකයෙකි. මාඝ ශ්‍රී ලංකාවේ නගර විනාශ කරමින්, පන්සල් ,ප්‍රතිමා,ස්තූප යනාදිය විනාශ කරමින්, ජනතාවටද දරුණු ලෙස වද හිංසා පැමිණවීය. මෙම සතුරු හමුදාවේ විනාශකාරී ක්‍රියාකලාපය නිසා ජනතාව මෙන්ම භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙකු ඝාතනය වූහ. කිසිදු රැකවරණයක් නොමැති වූ රජරට නගරවාසීන් හා භික්ෂූන් වහන්සේලා තම උන්හිටි තැන් හැරදමා රුහුණට,කදුකරයට, හා මායාරට වැනි ප්‍රදේශ වලට සංක්‍රමණය විය. මේ හේතුවෙන් රජරට නගර ජන ශූන්‍ය විය. දහස් ගණනක් ජනයා දිනපතා වන්දනාමාන කල රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය වැනි සිද්ධස්ථානවල ක්‍රමයෙන් වල් බිහිවිය. රජරට ජනාකීර්ණව පැවති බොහෝ නගර නටඹුන් බවට පත්විය.මේ අතර කාලිංග මාඝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශ කොල්ලකමින්,මිනිසුන්ට වද හිංසා පමුණුවමින් තම පාලනය දියත් කරන්නට විය.
මෙකල දිවයිනේ විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වූ ජනයා එම එක් එක් ප්‍රදේශය සදහා පත්කරගත් වන්නි නායකයින් යටතේ පාලනය විය. ඔවුන් කාලිංග මාඝව පලවාහැරීමට උත්සහ නොකළ අතර තම ප්‍රදේශයේ ආරක්ෂාව පමණක් සලසාගත්හ. නමුත් වර්ෂ 1232 පමණ වන විට දඹදෙණිය ප්‍රදේශයේ වන්නි නායකයෙකු ලෙස කටයුතුකල විජයබාහු නැමැති ප්‍රභූවරයා දඹදෙණිය ප්‍රදේශයේ සිටි සතුරන් පලවාහැර දඹදෙණිය නගරයක් ලෙස සංවර්ධනය කලේය. පොළොන්නරුව සතුරන්ට යටත්වීමෙන් පසුව, දන්තධාතුව හා පාත්‍ර දාතුව ආරක්ෂාකල භික්ෂූන් වහන්සේලා එම පූජනීය වස්තු කොත්මලයට ගෙනගොස් සගවාතබා ඒවා ආරක්ෂා කලහ. මේ බව දැනගත් විජයබාහු රජු එම පූජනීය වස්තු දඹදෙණියට වැඩමවා, බෙලිගල දළදා මැදුරක් කරවා ඒවා එහි තැම්පත් කරවීය. දළදාවේ භාරකාරත්වය ලැබීම නීත්‍යානුකූලව රාජ්‍යත්වය ලැබීමක් ලෙස ජනතාව සැලකූ බැවින්, රජුගේ එම ක්‍රියාව මගින් තුන්වන විජයබාහු නමින් දඹදෙණිය රජකම ලබාගත්තේය. මේ වන විටත් රජ පවුල පරිහානියට පත්ව තිබූ බැවින්, තුන්වන විජයබාහු රජු නව රාජවංශයක ආරම්භය සනිටුහන් කලේය.
තුන්වන විජයබාහු රජුට සිංහල බිසවකගෙන් පරාක්‍රමබාහු නම් කුමාරවරයෙක් හා කාලිංග වංශික බිසවකගෙන් බුවනෙකභාහු නමින්ද කුමාරවරු දෙදෙනෙක් උපත ලැබීය. රජුගේ අදහස වූයේ වැඩිමහල් සිංහල කුමරු වන පරාක්‍රමබාහු හට තමාගෙන් පසු රජකම ලබාදීමයි. නමුත් ඊට විරුද්ධ වූ කාලිංග වංශික බිසව පරාක්‍රමබාහු කුමාරයාට විරුද්ධව කුමන්ත්‍රණ සිදුකරන්නට වූහ. මෙම කුමන්ත්‍රණ පිලිබඳ දැනගත් විජයබාහු රජු ආරක්ෂාව උදෙසා පරාක්‍රමබාහු කුමරු කුඩා කල පටන් ගම්බද ප්‍රදේශයකට පිටත් කරලීමට තීරණය කලේය. මෙම වගකීම දේව පතිරාජ නම් ප්‍රධාන සෙනෙවියෙකුට පැවරීය.
කුඩාකල පටන් ඉගෙනීමට දක්ෂ වූ පරාක්‍රමබාහු කුමරා හට සංඝරක්කිත මාහිමියන් ප්‍රමුඛ මහා සංඝයාගෙන් අධ්‍යාපනය ලැබීමට හැකිවිය. පසුකලෙක උගත් පඪිරුවනක් බවට පත්වූ පරාක්‍රමබාහු කුමරු 'කලිකාල සාහිත්‍ය සර්වඣ් පණ්ඩිත' යන උපාධි නාමයෙන්ද පිදුම් ලැබීය.
කල්යත්ම තුන්වන විජයබාහු රජුගේ මරණයෙන් පසුව, කාලිංග වංශික බිසව තම බුවනෙකභාහු නම් කාලිංග වංශික පුත් කුමරු රජකමට පත්කිරීමට කටයුතු කලාය.රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය මෙන්ම මහා සංඝරත්නයද මෙම තීරණයට විරුද්ධ විය. ඊට හේතුව වනුයේ වෙනත් ආගමක කුමරෙකුට දළදාවේ භාරකාරත්වය නොලැබෙන බැවිනි. නමුත් කිසිවෙකුගේ කීම නොඅසා ඇය බුවනෙකභාහු හට රජකම ලබා දුනි.
විජයබාහු රජුගේ අණ පරිදි වැඩිමහල් කුමරු වූ පරාක්‍රමබාහු රජකමට පත්කිරීමට කටයුතුකල පතිරාජ සෙනෙවි කුමන්ත්‍රණයක් කොට බුවනෙකභාහු කුමරු මරණයට පත්කරන ලදී. පසුව ගම්බද පුරවැසියකු ලෙස මෙතෙක් කාලයක් වාසය කල පරාක්‍රමබාහු කුමරාට ඇති රාජ්‍ය උරුමය පිලිබඳ හෙලිකරමින් ඔහුව දෙවන පරාක්‍රමබාහු ලෙස වර්ෂ 1236දී රජකමට පත් කලේය.
දෙවන පරාක්‍රමබාහු රජු බලයට පත්වනවිටත් රට සතුරු ආක්‍රමණිකයන්ගෙන් නිදහස්ව නොතිබුණි. එසේම අලුත් ආක්‍රමණිකයෙකුට මුහුණදීමට එතුමාට සිදුවිය. රටේ ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම, ආගමික හා අධ්‍යාපනික උන්නතිය උදෙසා කටයුතුකිරීම ඇතුලු තවත් අභියෝග රැසක් එතුමා හමුවේ පැවතුණි. එහෙත් පරාක්‍රමබාහු රජු උගතෙක් මෙන්ම බුද්ධිමතෙකු වූ බැවින් මෙම සියලු අභියෝග වලට එතුමා සාර්ථකව මුහුණදීමට සමත් විය.
දෙවන පරාක්‍රමබාහු රජතුමා කාලිංග මාඝ හා සටනට සූදානම්ව සිටින අවධියේ එනම් එතුමාගේ එකොළොස් වන රාජ වර්ෂයේ වර්ෂ 1247 චන්ද්‍රභානු නම් ජාවක ආක්‍රමණිකයෙක් විශාල හමුදාවක් සහිතව මෙරටට ගොඩබැස්සේය. පරාක්‍රමබාහු රජුගේ මෙහෙයවීම මත ඔහුව පලවා හැරීමට සිංහල සේනා සමත් විය.
දෙවන පරාක්‍රමබාහු රජු මුහුණදිය යුතු ප්‍රබලම අභියෝගය වූයේ මාඝගේ පාලනයෙන් රජරට මුදවාගැනීමයි. වසර 40ක් පමණ රජරට ප්‍රදේශය පාලනය කල මාඝ අවට බලකොටු පිහිටුවා ආරක්ෂාව තර කොට තිබුණි. මේ නිසා මාඝට එරෙහිව තීරණාත්මක ප්‍රහාරයක් එල්ලඔප්කල යුතුවිය. රජුගේ සැලසුමකට අනුව හමුදාව යොදවා නැගෙනහිර හා බටහිර දෙසින් පොළොන්නරුව නගරය වට කරන් ලදී. රජුගේ හමුදාවට මුහුණදීමට මාඝගේ භටයෝ අවට බලකොටුවල සිට පොළොන්නරුවට රැස්වී සිටියහ. රජුගේ හමුදාව එල්ල කල ප්‍රබල ප්‍රහාරයෙන් මාඝගේ හමුදාව අන්ත පරාජයක් ලැබීය. මේ තීරණාත්මක සටන වර්ෂ 1255 දී පමණ සිදුවී ඇත. මාඝගෙන් රජරට මුදවාගැනීම දෙවන පරාක්‍රමබාහු ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයකි.
මීට පෙර රජුගේ හමුදාව සමග සටන් කොට පැරදී පලාගිය චන්ද්‍රභානු ඉන්දියාවෙන් ද කුලී හමුදා ලබාගෙන වර්ෂ 1261 පමණ නැවතත් දඹදෙණිය ආක්‍රමණය කලේය. විශාල හමුදාවක් සහිතව දඹදෙණිය වටකල චන්ද්‍රභානු දන්තධාතුව, පාත්‍රධාතුව හා රාජ්‍යය තමාට ලබා දෙන ලෙස රජුට තර්ජනය කළේය. රජුගේ හමුදාව හා චන්ද්‍රභානුගේ හමුදාව අතර නැවත වරක් ප්‍රබල සටනක් සිදු විය. මෙහිදී ඉන්දියාවේ පාණ්ඩ්‍ය අධිරාජ්‍යයාගෙන්ද දෙවන පරාක්‍රමබාහු රජුට සහය ලැබුනි. මෙම සටනේදීද සතුරු හමුදාව පරාජ වූ අතර ආක්‍රමණිකයා වූ චන්ද්‍රභානු ජීවිතක්ෂයට පත්විය. දෙවන පරාක්‍රමබාහු රජු සතුරන්ගෙන් රට මුදවාගැනීමට ක්‍රියාකල අතරම දේව පතිරාජ නම් ඇමති යොදවා ආර්ථික, ආගමික හා අධ්‍යාපනික අංශ වලද ප්‍රබල දියුණුවක් ඇතිකිරීමට සමත් විය.
0 Comments